Ekgaloya Wildlife Bungalow | එක්ගල්ඔය වනජීවී සංචාරක බංගලාව - Thaprobane by අඩෝ Sri Lanka

Ekgaloya Wildlife Bungalow | එක්ගල්ඔය වනජීවී සංචාරක බංගලාව - Thaprobane by අඩෝ Sri Lanka

=== එක්ගල්ඔය වනජීවී සංචාරක බංගලාව === අපේ මේ ගමනේ පළමු නවාතැන්පල වුනේ වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් ඒක්ගල ඔය සංචාරක බංගලාවයි. එක්ගල් ඔය සංචාරක බංගලාව සුන්දර එක්ගල් ඔය ජලාශයට මායිම්ව ගල්ඔය රක්ෂිතයට අයත් බිම්කඩක ඉදිකර ඇත. එසේම එහි නවාතැන් ගන්නෙකුගේ නෙත් සිත් වශී කරවන සුන්දර දසුන් බොහොමයක් ඇති පරිසරයකින්ද සමන්විත මෙම සංචාරක බංගලාව ඉතාමත් පැරණි ඉදිකිරීමකි. බැලූ බැල්මටම කෙනෙකුගේ මතකය එකදාස් නමසිය ගණන්වල මැදභාගයට රැගෙන යන ගෘහ නිර්මාණ ආකෘතියකින් සැදුම්ලත් මෙහි එකවර දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට නවාතැන් පහසුකම් සලසා ඇත. එසේම කාමර තුල මෙන්ම පරිසරයේ සුන්දරත්වය විදිමින් බැල්කනිය තුලද නිදන ඇදන් සකසා ඇති මෙහි ඈත ජලාශය මතින් හමා එන සිහිල් සුළගක පහස විදිමින් අපූරුවට රැය පහන් කල හැකිය….. එක්ගල් ඔය සංචාරක බංගලාවට කොළඹින් ගමන් ආරම්භ කර පැමිණෙන්නෙකුට අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල දක්වා පැමිණ තණමල්විල, වැල්ලවාය, බුත්තල, මොණරාගල හරහා සියඹලාණ්ඩුව (එනම් ලාහුගල හන්දිය) හන්දියට පැමිණ දකුණට තිබෙන අම්පාර මාර්ගයෙන් ගොවිදුපුර, වඩිනාගල පසුකර මේ වෙත ලගාවිය හැකිය. එක්ගල් ඔය සංචාරක බංගලාවට අමතරව ගල්ඔය රක්ෂිතයේ නිල්ගල, ඉගිනියාගල නමින් තවත් සංචාරක බංගලා දෙකක්ද පිහිටා ඇත. තවද එළිමහනේ කූඩාරම්වල රාත්‍රී ගත කිරීම සඳහා වනෝද්‍යානය තුළ කොස්සපොළ මකරය, ඩ්‍රැකියුලා දුපත, නිල්ගල මකරය, දොරොව්ව සහ පරිවියන් ආර නමින් කූඩාරම් පොළවල් (Camp Sites) පහක්ද තිබෙන අතර ඒවායේ නතර වීම සඳහා අවශ්‍ය උපකරණ සියල්ල සංචාරකයින් විසින් රැගෙන යා යුතු වේ…..